තුන වසර

මං ඉස්කෝලේ ගියේ අපේ ගමේ ඉස්කෝලෙට. ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර පයින් ගිහිල්ලා, ඊට පස්සේ බස් එකෙන් රුපියල් දෙකක දුර යන්න ඕනි. මේ මං තුන වසරේදි. අපේ ඉස්කෝලේ එක දෙක පන්ති තිබුණේ පිට්ටනිය කෙලවරේ, පිට්ටනියයි එකේ දෙකේ පන්තියි ඉස්කෝලෙන් වෙනම තිබ්බා කිව්වොත් හරි.

තුන වසරට එනකොට පිට්ටනියෙන් අයින් වෙලා අලුත් බිල්ඩින් එකකට, අලුත් පන්තියකට පරණ යාළුවොත් එක්ක රැලි රැලි සුදු ඇඳුමින් මමත් ඉස්කෝලේ ආවා. තුන වසරේ ඉදන් තනියම බස් එකේ ගෙදර යන්න පුරුදු වෙන්න මට සිද්ද උනේ තුන වසර පන්තිය ඇරෙන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වෙලාවක නිසා. අක්ක ඉන්න හතරේ පන්තිය ඇරෙන්නේ දෙකට, මල්ලි ඉන්න එකේ පන්තිය ඇරෙන්නේ එකොළහමාරට. තුනේ පන්තිය, ඒක ඇරෙන්නේ හරියටම එකට. මල්ලිව එකොළහමාරට අරගෙන ආපහු මාව අරගෙන යන්න එන්න අම්මට බැරි හින්දා, මං තනියෙන් ගෙදර යන්න තුන වසරේ ඉදන් පටන් ගත්තා. 

අපේ ඉස්කෝලේ තුන වසර පන්ති දෙකක් තිබුණ, මං හිටියේ තුන බී පන්තියේ. අනික තුන ඒ පන්තිය. දෙකම තිබ්බේ එකම තනි තට්ටුවේ බිල්ඩින් එකක. රතුපාට උළු දාපු, බටර් පාටට බිත්ති හුණු ගාලා තිබ්බ තුන වසර බිල්ඩින් එක ඉස්කෝලේ හොදටම ස්ථාන ගත වෙලා (සිංහලෙන් නම් position වෙලා) තිබුණා කිව්වොත් හරි. පන්තියට ඇතුල් වෙන තැනම කවදාවත් වතුර නැති පොන්ඩ් එකයි, ඊට ඉස්සරහ බුදුමැදුරයි තිබුනේ අපිට මල් පූජා කරන්න ලේසි වෙන්න. බුදු මැදුර ලගින්ම හැරුණු ගමන් කැන්ටිම. ඉන්ටවල් එකට සත විසිපහේ බුල්ටෝ කන්න, ගෙන්න අමතක වෙන රූප කොළ අරගන්න, ලංකා සිතියම්, ලෝක සිතියම් ගන්න, ලැවරිය ගන්න ,ඒ වගේම විබාගේ දවසට රෝස පාට ෆයිල් ගන්න කැන්ටිම තිබුනේ තුනේ පන්තියට බොහොම ලගින්. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ආපු ගමන් තියෙන්නේ තුනේ පන්තිය, පරක්කු වෙලා එන අය වැඩියම සුද්ද කරෙත් අපේ පන්ති තිබ්බ බිල්ඩින් එක හින්ද වැඩියම ලස්සනට තිබුනෙත් තුනේ බිල්ඩින් එක වටේ තමා. ඔක්කොටම වඩා අපේ බිල්ඩින් එක ළගම ටොයිලට් එකකුත් තිබ්බ එක තුනේ පන්තියේ මට වගේම අනික් යාලුවන්ටත් ලොකු සහනයක් උනා. ඒ කලේ ඉස්කෝලේ තිබ්බේ වල වැසිකිලි. ටෝට්ටෝ චං ගේ හරි පුදුම ඉස්කෝලේ කියවල තියෙනව නම්, වල වැසිකිලි කියන්නේ මොනාද කියල හොදටම දැනගන්න පුළුවන්. :) ඒ වගේම මේ ඔක්කොටම හරියන්න ප්‍රින්සිපල් සර් හිටියෙත් පන්තිය ඉස්සරහ බිල්ඩින් එකේ. එතනින් එහාට කියන්න ඕනි නෑනේ.






















ඒ අපේ තුනේ බිල්ඩින් එකේ එළියේ, එත් ඇතුල හදල තිබුනේ තවත් ඔල්මොරොන්දන් විදියකට. බිල්ඩින් එකේ හැඩය කියන්න මට තේරෙන්නේ නෑ. පින්තුරේ බැලුවොත් පෙනෙයි තුනේ පන්ති දෙක තිබුනට අමතරව බිල්ඩින් එකේ තව ස්ටේජ් එකකුත් තියෙනව කියල. අපිට අපේ දස්කම් දක්වන්න හදල තිබ්බ මේ ස්ටේජ් එක පිරිලා තිබුණේ මුළු ඉස්කෝලෙම තියෙන කැඩිච්ච ඩෙස්ක් බංකු පුටු වලින්. දුවිල්ල විමානයයි. ඉතින් ඔය ඔක්කොම එක්ක තුනේ පන්ති දෙකත් තිබුණා. තුනේ ඒ පන්තිය බාරව හිටියේ අජන්තා ටීචර්, මං හිටපු බී පන්තිය බාරව හිටියේ කුසුමා ටීචර් (පහේ පන්තියේ කුසුම ටීචර් නෙවෙයි)
මගේ ඉගෙනීම කිව්වොත් මං ඉගෙන ගන්න පුදුම කම්මැලි, මගේ මනෝ ලෝක, එහෙන් මෙහෙන් පේන කුණු ගොඩවල් වගේ දේවල් තමයි මගේ ඔලුවේ තිබුණේ. ලස්සන ටොපි කොලයක් හම්බුනොත් ඒක ගෙදර ගෙනිහින් එකෙන් මොනවා හරි හදන කම් මගේ ඔලුව වෙන දේකට යන්නේ නෑ. ඉතිං ඉගෙනීම අතින් මං හරි දුර්වලයි. මේ කොහොම උනත් අතට අහු වෙන හැම දෙයක්ම බැරි බැරි ගාතේ හරි කියවන පුරුද්දක් මට පොඩි කාලේ ඉදන්ම තිබ්බා, ඉස්කෝල පොත් නැතිව. 

ඒ දවස් වල අපේ අක්කා තමයි බ්‍රයිටා. අක්කා දක්ෂයි, ලස්සනයි, කීකරුයි. ඒකට මං, කෙට්ටුයි, කළුයි, වස කම්මැලියි, ඒ වගේම පන්තියෙදි  නිදි වැඩි හරියක් . ඉතින් දවසක් ඉස්කෝලේ දෙමාපිය රැස්වීමේදී පන්ති බාර ටීචයි, ඉංග්‍රීසි උගන්නන දීප්ති ටීචයි අපේ අම්මට මං ගැන හොද වරුණාවක් දීල තිබුණා. බලන්න ඉතිං අක්ක මෙහෙමයි මේ ළමයාගේ, මේ නංගි මෙහෙමයි, කියල මගේ ටීචර්ලා අපේ අම්මට දීපු  වරුණාවේ රහ මට එදා හවසම හම්බ උණේ කිසි අඩු පාඩුවක් නැතිවම වගේ තාමත් මතකයි. මේ හේතුව නිසා කවදාවත් ගෙදර වැඩ නොකරපු මට ගෙදර වැඩ කරන්න මට පොත් හොයාගන්න උණේ මං හවසට ගෙදර ඇවිල්ල හදන එක එක විකාර ජාති නතර කරලා. ඒ කොහොම උනත් ඒ කාලේ තුන වසරට දීල තිබුණු දුඹුරු පාට ඉංග්‍රීසි වර්ක් බුක් එක නම් ගෙදර පෙරලලා දාලත් කොහොමට වත් හොයාගන්න බැරි උණා. ඒ හින්ද ඉංග්‍රීසි ඉගෙනීම මං හිතින් අත්හැරිය( පොත් නැතුව කරන්න බෑනේ) සිංහල වැඩ කරන්න ගත්ත පොතේ රචනාවක් ලියන්න තිබ්බා  මගේ සුරතලා ගැන. මං 'ලැබුනා' (ලැබුනා තමයි අපේ බල්ලාගේ නම) ගැන ලස්සන රචනාවක් ලියාගෙන ඉස්කෝලේ ගියා මට හොදටම මතකයි. එත් පොත් පෙන්නන යනකොට සුපුරුදු විදියට ඒ පොතත් මගේ බෑග් එකෙන් අතුරුදහන් වෙලා තිබ්බේ, මුළු ලෝකයක්ම මං ගෙදර වැඩ කරනවට විරුද්දව වගේ. එයින් පස්සේ මං  තුනේ පන්තියේ ගෙදර වැඩ කරේ නෑ. 

ඒ කොහොම උනත් මං එදා ඉදන් උගන්නන දේවල් අහගෙන ඉන්න පුරුදු උණේ, අක්කා වගේ ලකුණු ගන්න ඕනි කියල හිතුනු හින්දයි, කොච්චර  අහගෙන හිටියත් ගෙදර වැඩ කරගෙන යන එක නම් මට පුරුදු උනේ නම් නෑ. කොහොමින් හරි තුන වසරේ අග ඉදං හතර වැනිය උණු මං, අන්තිම වාරයේ විබාගෙන් පන්තියේ මුල ඉදන් දහ වැනිය උනා(ළමයි හතළිහක් විතර හිටිය හරිද). එත් ඉංග්‍රීසි වලට ලකුණු නෑ.(ඉංග්‍රීසි කොහොමත් දිරෙව්වෙ නෑ)


ප.ලි 
කොහොමින් හරි ඊලග අවුරුද්දේ මැද වගේ වහලේ ගහන්න ගෙන්නල්ල ගොඩ ගහල තිබ්බ පොල් පරාල තොගයක් අස් කරද්දී මට ඉංග්‍රීසි වර්ක් බුක් එක නම් හම්බුණා. එත් සිංහල රචනා පොතට නම් වෙච්ච දෙයක් දන්නේ නෑ.......

Comments